Monday, September 28, 2009

හිරුට පෙම් බැඳි සූරියකාන්ත මල වෙත ඒවිද හිරු කිසි දින....?


සඳට පෙම් බැඳි කඩුපුල් මල
සඳ එලියෙ විකසිතවී පරවී ගියද
තාරකා පිරි අහසෙන් බැස
එවිද සඳු මිහිමතට.....?

ඉරට පෙම් බැඳි සූරියකාන්ත මල
ඉර එලියෙ විකසිතවී මියැදුනද
වලාකුලින් මිදී පොලවට
හිරු ඒවිද කිසි දින.....?

ඔහුට පෙම් බැඳි ඇයගෙ සිත
ඔහු ගැනම සුසුම් හෙලුවද
ඔහු ඒවිද ඇයගෙ සිත
හඳුනාගෙන.....?

සඳ නොපැමිණියද මිහිමතට
කඩුපුල් මලක් පිපෙවි හෙට දිනද
හිරු නොපැමිණියද පොලවට
පිපේවි සුරියකාන්ත මලක් හෙට දිනද

ඉදින්,
ඔහු නොපැමිණියද ඇය වෙතට
නොහෙලාවිද ඇය සුසුම් ඔහු ගැන
හෙට දිනද.....?

Thursday, July 30, 2009

කිසිදා හමු නොවන අප


කිසිදා හමු නොවන රේල් පීලි මතින්
දෑත් පටලාගන ඇවිද ගිය අයුරු අප
නැගී මතකයට අද,
තෙත් කරවාලයි මගෙ දෙනෙත

සිල්පර කොටන් වලින් බැඳුනද,
රේල් පීලි කිසිදා හමු නොවන බැව්
කිසි දිනක නොසිතුනේ කිමද මට....

Tuesday, June 16, 2009

වැලි මාලිගාව



ඔබ මගෙන් ඈත් ඌ දා සිට
ඔබ දුර බැව් කොපමණ ම සිතට කීවද?

රල පහරින් වැලි මාලිගා බිඳී යන්නා සේ
ඔබෙ මතකයන්, මහදේ පැටලී ඔබ දුර ඈත බැව් අමතක කරවාලයි.

රල පෙල සමග ආ සුලන් රොදක් මා ගත කුල්මත් කරවාලයි
"මා ඔබ සමඟයි" යමෙක් මුමුණනු ඇසේ...

ඔබ මා ගෙන් ඈත් උවද ඔහු මා හැර දමා නොයයි
නිබඳ මා හා රැඳෙමින් මාගේ සෙවනැල්ල මෙන් ඔහු සිටියි

එහෙත් ඒ සෙවනැල්ල තනිකම පමනක්ම වු කල....?

ඉතිරිව ඇත්තෙ රල පහරට ගසාගෙන ගිය වැලි මාලිගාවක් පමණි!!!


කලකට ඉහතදී මාගේ ඉංග්‍රීසි බ්ලොගයට ලියූ Sand Castle නිර්මාණය මාගේ මිතුරියකගේ ඉල්ලීම මත මෙලෙස සිංහලට පරිවර්තනය කිරීමට වෙර දැරීමි.ඉන් යම් හෝ හානියක් මුල් නිර්මාණයට වුනි නම් පාඨක ඔබගෙන් සමාව අයදිමි.

Tuesday, June 9, 2009

නිබඳ මා හා රැඳෙන ඔබ...




සිනා සෙන විට මා හා සිනාසෙන
හඬද්දී මා හා හඬන
මා මෙන් උවද මා නොවන
කැඩපත් රාමුවෙන් වෙන් වී සිටින

ඔබය මාගේ පිලිඹිමුව,
නිබඳ මා හා රැඳෙන....

Tuesday, March 31, 2009

මා දෑතට...



මේ දෑත සරසන්න
එපා රන් රුවන් මුදු
නුඹේ දෑතේ උණුහුම
තිබේ නම්...
ඒ ඇති මට

හොඳටෝම...

Tuesday, March 17, 2009

නුඹ බෝ දුරය...


අහම්බෙන් මගෙ ළඟ
දැවටෙන
මේ සුවඳ
ඇත්තටම නුඹේමයි

සිහින අතරින් පැටලි
නුඹෙ සුවඳ දැනෙන විට
නුඹ අද
බෝ ඈත බව
කෙසේ නම්
පහදා දෙමිද
මසිතට...?

නුඹ
බෝ දුරය...
මතක නම්
මා ළඟමය...

Monday, March 16, 2009

ජීවිතය...

ජීවිතය තියෙන්නෙ විඳින්න මිසක්
විඳවන්න නෙමෙයි
ඒත් අපි ජීවිත කාලයේ වැඩිපුරම
කරන්නෙ විඳවන එක
ඒක දෛවයෙ හරි නපුරු පලි ගැනීමක්...

ඇස් තියෙන්නෙ ආස කරන දේවල් බලන්න මිසක්
ඒවා බලලා කඳුලු සලන්න නෙමෙයි
ඒත් අපි ජීවිත කාලයේම කරන්නේ
මහවැලිය තරම් කඳුලු හෙලන එක
ඒක හරි දරා ගන්න බැරි අවාසනාවක්...

හදවත තියෙන්නේ සැනසෙන්න මිසක්
ඇවිලෙන්න නෙමෙයි
ඒත් අපිට ජීවිත කාලයේ වැඩිපුරම
වෙන්නේ පපුව ඇවිලෙන එක
ඒක විඳවන්න බැරි දුකක්...

ආදරය තියෙන්නෙ එක් වෙන්න මිසක්
වෙන් වෙන්න නෙමෙයි
ඒත් අපි ජීවිත කාලයේ වැඩිපුරම
කරන්නෙ වෙන් වෙන එක
ඒ වෙන් වීම හමුවීමට වඩා කටුකයි
ඒ වෙන් වීමට වඩා මරණය සැපයි...!

මීට කලකට ඉහතදී මගේ යෙහෙළියකගෙන් ලද මෙම වදන් පෙලන් කැටපත් පවුර ආරම්භ කරන්නට අවසරයි!